ශ්‍රී ලංකාවේ රූපවාහිනීයේ ආරම්භය හා විකාශනය- The beginning of television in Sri Lanka

1
History of TV Channel in Srilanka

 කලින් ලිපියකින් රූපවාහිනියේ ඉතිහාසය ගැන කතාකලා ඔබට මතක ඇති. ඉතින්. 1970 දශකය වන විට යුරෝපය මෙන්ම ජපානය, සිංගප්පූරුව වැනි දියුණු ආසියාතික රට වල පවා ජනතාවට රූපවාහිනිය තම නිවෙස් වල සාමාන්‍ය මෙවලමක් බවට පත්වී තිබුනද, අපේ රටට එය දැකගැනීමට තිබූ උපකරණයක් ව නොතිබින. 1965 කොළඹ තුරග තරග පිටියේ පැවැත් කර්මාන්ත ප්‍රදර්ශන භූමියේ ඇමරිකානු ප්‍රදර්ශන කුටිය තුළ රූපවාහිනී දර්ශන තුබූ අයුරුත් , එම කුටිය හරහා යන අය වෙත යොමු කර තිබූ කැමරාවක් මගින් එය පසු කර යන අයගේ රුව රූපවාහිනී තිර මත දර්ශනය වූ අයුරුත් අපූරු අත්දැකීමක් විය.

ශ්‍රී ලංකාවට රූපවාහිනී සේවයක් ලබා දෙන්නට 1965-70 ඩඩ්ලි සේනානායක අගමැතිවරයා ගේ පාලන කාලය තුළ ජර්මනිය සමග සාකච්ඡාවක් පවත්වා තිබූ අතර එය මල් පල ගැන්වී තිබුනේ නැත. 1970 බලයට පත් සිරිමාවෝ කණ්ඩාරනායක මැතිණිය ගේ පාලන කාලය තුළ යුගෝස්ලාවියාවෙන් රූපවාහිනී සේවාවක් ලබා ගැනීමට උත්සාහයක යෙදී තිබුන අතර එයද අසාර්ථක විය. මේ කාලය වන විට දිවයිනේ බොහෝ දෙනා රූපවාහිනී තාක්ෂණය පිළිබදව කතා කළහ.  යුරෝපීය හෝ ජපාන, සිංගප්පුරු සංචාර සදහා ගිය ව්‍යාපාරිකයන් එහි තිබූ රූපවාහිනී යන්ත්‍ර දැක තමාටද ඇති වූ කැමැත්ත නිසා ආපසු එන විට ඒවායින් එකක් රැගෙන එන්නට පුරුදු වූහ. ඇතැම් ජපාන ගුවන්විදුලි යන්ත්‍ර ‘ත්‍රී ඉන් වන් ’ ක්‍රමයට එකළස් කර තිබූ අතර, එහි රේඩියෝවක්, කැසට් ධාවන යන්ත්‍රයක් හා අගල් 6 ප්‍රමාණයේ කළු-සුදු රූපවාහිනී තිරයක් තිබින. රේඩියෝවත්, කැසට් වාදන යන්ත්‍රයක් ප්‍රයෝජනයට ගත් අතර රූපවාහිනී තිරය නිකම්ම කළු සුදු තිත් තිත් මතුවන දර්ශනයකින් හා ‘ සූ ‘හඞකින් යුතු මෙවලමක් විය. රූපවාහිනී යන්ත්‍ර නිවසක තිබුනා නම් එය කළු-සුදු වර්ගයේ එකක් විය. මෙම රූපවාහිනී තිර මතට රුවක් ලබා ගන්නට බොහෝ ඉලෙක්ට්‍රොනික කාර්මිකයෝ පර්යේෂණ කරමින් උන්හ.


මේ අතර ලන්ඩනයේ රූපවාහිනී තාක්ෂණය පිළිබදව හදාරා තිබූ ෂාන් වික්‍රමසිංහ තරුණයාට රූපවාහිනී විකාශයක් අරඹන්නට ඉමහත් ආසාවක් ඇති විය. තම ශිල්ප දැනුම විවිධ රේඩියෝ උපකරණ හා තඹ කම්බි සමග එකතු කළ ශාන් ට රූපවාහිනී විකාශයක් කිරීමේ හැකියාව ඇති විය. රජයෙන් නිසි අවසරයක් නොලැබුන නමුදු තම මිතුරෙකු වූ අනිල් විජේවර්ධන සමග එකතුව ‘ මිතුරන් අතරේ පමණක්’ සීමා වූ  විවිධ රූපවාහිනි විකාශන අත්හදා බලන්නට  ෂාන් වික‍්‍රමසිංහත් , අනිල් විජේවර්ධනත් සමත් වූ අතර, ඔවුනොවුන් ගේ නිවෙස් අතර රූපවාහිනිය නරඹමින් මේ තරුණ පිරිස සතුටු වූහ.

Shan Wikramasinghe - ශාන් වික්‍රමසිංහ
ෂාන් වික‍්‍රමසිංහ මහතා

1976 අගෝස්තුවේ පැවැති නොබැඳි ජාතීන්ගේ සමුළුව ආවරණය කොට කොළඹ අවට සැතපුම් දහයක් පමණ දුර පෙනෙන පරිදි වැඩසටහන් විකාශයට ශාන් වික‍්‍රමසිංහ ඇතුළු පිරිස සමත් වූහ. ඒ වන විට කොළඹ අවට තම නිවෙස් තුළ රූපවාහිනී යන්ත්‍ර සවිකර තිබූ සීමිත පිරිසක් මෙම වැඩ සටහන් නරඹා ඇත. 1977 ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව බලයට පත් වීමත් සමග ෂාන් වික්‍රමසිංහයන් පෞද්ගලික රූපවාහිනී සේවාවක් ආරම්භ කිරීමට රජයෙන් අවසර ඉල්ලා සිටි නමුදු එම අවසරය එකවරම ලැබෙන්නේ නැත. ඒ වන විට ජපානයෙන් ශ්‍රී ලංකාවට රූපවාහිනී සේවාවක් ලබා දීම සදහා ගිවිසුම් සකස් කරමින් සිටි නිසා ෂාන් ගේ ඉල්ලීම සළකා බැලීමට පමණක් ජේ ආර් අගමැතිවරයා පොරොන්දු විය. පසුව පෞද්ගලික රූපවාහියක් අරඹන්නට කැමැති අය වෙතොත් ඒ අයට ඉල්ලුම් කරන්නට අවස්ථාවක් ලබා දෙන ලදී. ආයතන ගණනාවත් ඉල්ලුම් කළ ද ෂාන් වික්‍රමසිංහ ට හා මොරිස් රෝච් සමාගමට අවසර ලැබින. රජයේ නියෝගය අනුව 1979 ජනවාරි 15 දිනට පෙර ඇප මුදල් තැන්පත් කොට වැඩ අරඹන්නට ෂාන් වික්‍රමසිංහයන් කටයුතු කළේය. ෂාන් වික්‍රමසිංහ, අනිල් විජේවර්ධන හා ඇමරිකානු ජාතිකයෙකු වූ බොබ් ක්‍රිස්ටි නව ආයතනයේ අධ්‍යක්ෂවරු වූහ.  පෑල් (PAL) ක්‍රමය අනුව විකාශන කටයුතු සූදානම් කළ අතර සිංගප්පූරුවෙන් අවශ්‍ය ඉලෙක්ට්‍රොනික උපකරණ ඇණවුම් කරන ලදී. මාර්තු මාසය ද ගෙවී යන තෙක් ඇණවුම් කළ කිසිදු උපකරණයක් ලැබී නොතිබුනි.

ස්වාධීන රූපවාහිනී සේවය ඇරඹෙයි

Electroclazz.com
 ස්වාධීන රූපවාහිනී සේවය
විකාශන කුළුනක් සවි කරන ස්ථානයක් ගැනවත් තීරණයක් නොමැතිව සිටිය දී 1979 අප්‍රේල් 13 වන දා ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී සේවාව ආරම්භ කරන බව රජය නිවේදනය කරන ලදී. කොළඹ විවිධ උස් ගොඩනැගිලි මත විකාශන ඇන්ටෙන්ව සවි කරන්නට උත්සාහ කළ ද එය අසාර්ථක වූයෙන්, පන්නිපිටියේ , මහල්වරාව ප්‍රදේශයේ ඇන්ටෙනා කුළුන සවි කරන්නට තීරණය විය.

ආරම්භ කෙරෙන නව රූපවාහිනී විකාශය අයි ටී එන් හෙවත් ‘ ස්වාධීන රූපවාහිනී සේවය’ ලෙස නම් කරන්නට තීරණය වුනි. අප්‍රියෙල් 1 වන දා වන විටත් ඇණවුම් කළ භාණ්ඩ ලැබෙමින් පැවතින. පන්නිපිටියේ විකාශන කුළුන අසල ඉදි කර ගත් කුඩා ගරාජයක් වැනි කුටියක උපකරණ සවි කරන ලදී. අප්‍රියෙල් 13 වනදා උදා වන විට ද ඇන්ටෙනා සවි කරමින් තිබුනි. කෙසේ හෝ සවස 6.35 වන විට ප්‍රථම වැඩ සටහන ගුවන් ගත කරන්නට ෂාන් වික්‍රමසිංහයන් ඇතුළු කණ්ඩායමට හැකි විය.

ඒ ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී විකාශය ලෙස ‘ ස්වාධීන රූපවාහිනී සේවය ‘ ඉතිහාසයට එක් කරමිනි. එහි වාකාශන බලය කිලෝ වොට් එකකි. කොළඹ සිට සැතපුම් 15 ක පමණ දුරකට හඞ-රුව විකාශය විය. එහෙත් මෙම  ස්වාධින රූපවාහිනි විකාශයට ආයුෂ තිබුණේ දින 52 ක් පමණි. කොටස් කරුවන් අතර වූ ආරවුල් හා කාර්මික දෝෂයක් හේතුවෙන් විකාශන කටයුතු නැවතින.

ශ්‍රී ලංකාවේ රූපවාහිනී ආයතන සදහා ද බලපත්‍ර නිකුත් කරනුයේ ගුවන් විදුලි සංස්ථා පනත යටතේ වන අතර එහි වැදගත්ම කොන්දේසියක් වන්නේ “ විකාශය ආරම්භ කළ මොහොතේ පටන් අඛණ්ඩය විකාශය විය යුතුය. එම විකාශය පැය 24 කට වැඩි කාලයක් නතර වී තිබෙන්නට නොහැක. “ යන්නය. ස්වාධීන රූපවාහිනිය පැය 24 කට වඩා නැවතී තිබින. එම වරදට  1979 ජුනි 5 වැනි දින රාත‍්‍රී ගැසට් නිවේදයක් මඟින් ස්වාධින රූපවාහිනි සේවය රජයට පවරාගන්නා ලදී. පසුව එය ‘රජයට පවරා ගන්නා ලද ස්වාධීන රූපවාහිනී සේවය’ ලෙස නම් කෙරුනු අතර, පසු කළෙක නැවත ‘ ස්වාධීන රූපවාහිනී සේවය’ ලෙස නම් කරන ලදී. 2016 සැප්තැම්බර් මාසයේ සිට නැවත ‘අයිටීඑන් ටීවී’ ලෙස නම් කරන ලදී. මේ වන විට ෂාන් වික්‍රමසිංහ මහතා ‘ටෙලිෂාන් ලිමිටඩ්’ ලෙස තනි සමාගමක් ආරම්භ කොට නැවත රූපවාහිනී සේවයක් ආරම්භ කරන ලද අතර, එය ‘ටීඑන්එල්’ රූපවාහිනිය ලෙස නම් කෙරින.

ජාතික රූපවාහිනි යේ ආරම්භය

Electroclazz.com
Rupavahini Corporation
ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී සේවය වූ ස්වාධීන රූපවාහිනිය ආරම්භ වී වසර 3 ක් ගෙවී යනවාත් සමග ශ්‍රී ලංකාවේ දෙවන රූපවාහිනී සේවය ලෙස ‘ ජාතික රූපවාහිනිය’ ආරම්භ විය. ජේ ආර් ජයවර්ධන රජයට ජපානයෙන් ලැබෙන තිළිණයක් ලෙස මෙහි උපකරණ හා විකාශන කුළුණු ලැබුනු අතර විකාශන මධ්‍යස්ථානය කොළඹ ටොරින්ටන් චතුරස්‍රය විය. ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවට මුහුණ ලා ඉදිකෙරුනු නව ගොඩනැගිලි සංකීර්ණයක ජපාන ඉංජිනේරුවන් විසින් රූපවාහිනී උපකරණ සවි කරන ලදී. විකාශන ඇන්ටෙනාව ශ්‍රී ලංකාවේ උසම ස්ථානය වූ පිදුරුතලාගල කන්ද මුදනේ සවි කරන ලදී. 1982 ජනවාරි 23 දරණ ජාතික රූපවාහිනී පණත යටතේ මෙම සේවය පිහිටුවන ලදී. ජාතික රූපවාහිනිය ආයතනයක් ලෙස ස්ථාපනය කෙරුනේ 1982 පෙබරවාරි 14 වනදා වන අතර ඊට පසුදා එනම් 1982 පෙබරවාරි 15 වන දා ජාතික රූපවාහිනි යේ විකාශන කටයුතු ආරම්භ කරන ලදී. ප්‍රථමයෙන් විකාශනය කරන ලද්දේ එවකට ජනාධිපති ධූරය දැරූ ජේ ආර් ජයවර්ධන මහතා ගේ කථාවකි. ආරම්භයේ දී එහි විකාශය කෙරුනේ සිංහල වැඩ සටහන් වේ.

1999 අප්‍රියෙල් මාසයේ දී රූපවාහිනී-2 යනුවෙන් අමතර නාලිකාවක් ආරම්භ කළ අතර,  එය 2000 වසරේ අගෝස්තු මාසයේ දී ‘ චැනල් අයි ‘ ලෙස වෙනස් කොට සිංහල, ඉංග්‍රීසි හා ද්‍රවිඩ යන භාෂා වලින් වැඩ සටහන් විකාශය කිරීම ආරම්භ කෙරින. පසුව ‘ චැනල් අයි’ ඉංග්‍රීසි වැඩ සටහන් සදහා ද,  2008 ජනවාරි 1 වනදා අළුතෙන් ආරම්භ කරන ලද ‘නේත්‍රා ටීවී’ ද්‍රවිඩ වැඩ සටහන් සදහාත් යොදා ගන්නා ලදී.

රූපවාහිනී සේවා පෞද්ගලික වී චන්ද්‍රිකා යුගයට පිවිසෙයි

පෞද්ගලික නාලිකා ඇරඹීමට අවසර ලැබෙනවාත් සමග විවිධ සමාගම් විසින් ඒ වන විට පවත්වා ගෙන ගිය තම ගුවන්විදුලි නාලිකා වලට අනුබද්ධව නව රූපවාහිනී නාලිකා ආරම්භ කරන ලදී. ඒ අනුව  ‘සිරස ටීවී’ ,  ‘ස්වර්ණවාහිනී’, ‘සියත ටීවී’ ,  ‘ටීවී දෙරණ’ , ‘හිරු ටීවී’ ‘සීඑස්එන්’ (CSN) ආදී පෞද්ගලික රූපවාහිනී සේවා රැසක් ආරම්භ කරන ලදී.

ඒ අතර ඉලෙක්ට්‍රොටෙක් ග්ලෝබල් නෙට්වර්ක් ආයතනය විසින් 2000 දී ශ්‍රී ලංකාවේ සිට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ විසුරුවා හැරෙන ප්‍රථව රූපවාහිනී සේවය ආරම්භ කරන ලදී. එය ‘ටීවී ලංකා’ නම් වූ අතර රත්මලානේ පිහිටි චන්ද්‍රිකා විකාශන මධ්‍යස්ථානයේ සිට මැද පෙරදිග ඇතුළු රටවල් රැසකට විසුඑුවා හරින ලද අතර, එම සේවාව බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව ආදී රටවලට පවා පැහැදිලිව දර්ශනය විය. 

ඒ සමගම කේබල් ටීවී ක්‍රමය ද ජනතාවට හදුන්වා දෙන ලද අතර, චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කරගෙන විකාශය කරන එම සේවාවන් පාරිභෝගිකයනගේ නිවෙස් වල කුඩා දීසි ඇන්ටෙනාවක් සවිකොට ශ්‍රී ලංකාවේ හා විදේශීය නාලිකා සිය ගණනක් නැරඹීමේ අවස්ථාව ලබා දුනි. ‘ඩයලොග් ටීවී’ (Dialog TV) සේවය ඉන් ප්‍රමුඛස්ථානයක් ගන්නා ලද අතර, ප්‍රථම සැටලයිට් රූපවාහිනී සේවාව වූ ‘ ටීවී ලංකා’ රූපවාහිනිය ද එම සමාගම විසින් කේබල් ටීවී තාක්ෂණය ඔස්සේ ලොව ජනප්‍රිය නාලිකා රැසක් සමග විකාශය කරයි.

2016 වන විට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ මැද පෙරදිග හා යුරෝපය වෙත සජීව විකාශයක් ගෙන එන ‘කලම්බු ටීවී’ නමින් රූපවාහිනී සේවයක් කොළඹ සිට ක්‍රියාත්මක කෙරේ.

තවත් ඔබට වැදගත් ලිපියකින් නැවත හමුවෙමු.

එතෙක් ඔබට සුභ දවසක්..!

Electronic ලෝකයේ🌏 දැනුම බෙදාගන්න එන්න අපත් සමග එකතුවෙන්න.!!❤

මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා චෝදනා, සහ අඩුපාඩු comment හරහා යොමු කරන්න අමතක කරන්න එපා.

👇References : 

🔰 Srinimals-Books

Tags

Post a Comment

1 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.
  1. TV Radio wala service manual ganna enna me peththata https://tvservicemanual.blogspot.com/

    ReplyDelete
Join the conversation(1)