ශ්‍රී ලංකාවේ වාශ්ප දුම් රියේ ඉතිහාසය ගැන දැනගනිමු - History of Sri Lanka railway

0

 

“සිලෝන් ගවන්මන්ට් රේල්වේ” Ceylon Government Railway(CGR)

ශ්‍රී ලංකාව, ලෝකයේ පැරණිතම දුම්රිය සේවාවක් හිමි රටකි. වර්ෂ එකසිය පනහකට නොඅඩු අතීතයකට උරුමකම් කියන මෙරට දුම්රිය සේවා ඉතිහාසය පුරාවට හිමි වූ සුවිශේෂී මතක සටහන් රාශියකි. වර්ෂ 1864දී කොළඹ සිට අඹේපුස්සා දක්වා සිදු වූ ප්‍රථම මගී දුම්රිය ගමනත් සමග ඇරඹුණු දුම්රිය සේවාව, දහ නවවන සියවස අග භාගය වන විට දිවයින පුරා සතර අතට විහිදී ගිය මෙරට දුම්රිය මාර්ග පද්ධතිය සැතපුම් නවසීයකට ආසන්න දුර ප්‍රමාණයක් ආවරණය කරන ලදී. ඒ වාෂ්ප බලයෙන් දිවූ දුම්රියන් මෙරට ප්‍රවාහනය නව මාවතකට හැරවූ අයුරුයි. එකල දුම්රිය සේවය හැඳින්වී තිබින්නේ “සිලෝන් ගවන්මන්ට් රේල්වේ” (CGR) නමිනි. වාශ්ප එන්ජින් 1950 පමණ වන තුරු සාමාන්‍ය ධාවනයේ තිබුණි. දුම්රිය ඉතිහාසය පුරාවටම වාශ්ප එන්ජින් 410ක් තිබී ඇති බව සඳහන් වේ. ලියෝපෝල්ඩ් නැමැති ප්‍රථම වාශ්ප එන්ජිම 1864 දි ආනයනය කර ඇත.

ලියෝපෝල්ඩ් නැමැති ලංකාවේ ප්‍රථම වාශ්ප එන්ජිම
ලියෝපෝල්ඩ් නැමැති ලංකාවේ ප්‍රථම වාශ්ප එන්ජිම

වාශ්ප එන්ජින් සඳහා අංක යෙදිමේදි 1 සිට 161 දක්වා අංක යොදා ඇත. මේ සඳහා ධාවන පන්ති යෙදීමේදි ඉංග්‍රිසි ඒ(A) අක්ශරයේ සිට එල්(L) අක්ශරය දක්වා වූ වර්ගීකරණ ක්‍රමයක් භාවිත කර ඇත. ඒ අනුව වාශ්ප එන්ජින් පන්ති මෙසේය.

  • පළල් දුම්රිය මාර්ගවල ධාවනය වූ එන්ජින් - A1, A2, A3, B1, B2, B3, B4, B5, B6, B7, B8, B9, B10, C1, D1, D2, D3, E1, F1, F2, F3
  • පටු දුම්රිය මාර්ගවල ධාවනය වූ එන්ජින් - H1, J1, J2, K1, L1
  • පළල් දුම්රිය මාර්ගවල ධාවනය වූ රේල් කාර් - R1, R2, R3, R4
  • පටු දුම්රිය මාර්ගවල ධාවනය වූ රේල් කාර් - V1, V2

පුළුල් ආමානයේ දුම්රිය මාර්ග ජාලයක් ශ්‍රී ලංකාවේ බටහිර කෙළවරෙන් ඇරඹි, උඩරට වතුකරයත්, දකුණු කෙළවරේ මාතරත්, යාපා පටුන හරහා කන්කසන්තුරේත්, තලෙයිමන්නරම් ජැටිය මෙන්ම නැගෙනහිර කොනේ මඩකලපුවත් යා කරන ලදී.

කැලණිවැලි දුම් රිය මාර්ගය හා එහි අතීතය

එහෙත් ඒ අතරට එක් නොවූ එක් සුවිශේෂි මාර්ගයක් කොළඹ කොටුවෙන් ආරම්භ වී, කොළඹ නගරය, සහ උප නාගරික ප්‍රදේශ හරහා ගොස් අවිස්සාවේල්ල හරහා රුවන් පුරයටත්, මිණි පොළව මතින් ලදු කැලෑ මැදින් ඕපනායක දක්වාත් වැටී තිබුණි. සැතපුම් 85ක දුරක් ඔස්සේ දිවූ මෙම මාර්ගය පටු ආමාන දුම්රිය මාර්ගයක් විය. 

මෙම පටු ආමාන මාර්ගයේ ධාවනය වූ දුම්රිය ජන වහරට එක්වුයේ පුංචි කෝච්චිය ලෙසිනි. පටු මාර්ග සඳහාම විශේෂයෙන් නිපදවන ලද වාෂ්ප එන්ජින් යොදාගෙන සාමාන්‍ය වේගයකින් ධාවනය වූ මෙම දුම්රියන් එකල ජනතාව අතර ඉතා ජනප්‍රිය විය. 

ශ්‍රී ලංකාවේ ධාවනය කල පටු ආමාන වාෂ්ප දුම්රිය එන්ජින් අතරින් පළමු වරට ආනයනය කරන ලද එන්ජිම වන්නේ K1 ධාවන පන්තියට අයත් වාෂ්ප එන්ජිමයි. 1900 දී පළමු වරට ආනයනය කරන ලද මෙම එන්ජින් කැළණිවැලි දුම්රිය මාර්ගය ඉදිකිරීමෙහි ලා ඉතා වැදගත් මෙහෙවරක් සිදු කරන ලද බව විශේෂයෙන් සඳහන් කල යුතුය. 

K1 103 දරණ එන්ජිම දෙමටගොඩ දුම්රිය අංගනයේදී.
K1 103 දරණ එන්ජිම දෙමටගොඩ දුම්රිය අංගනයේදී. 

  • ධාවන පන්තිය                                           : K1
  • ගෙන්වූ වර්ෂය                                           : 1900 – 1901
  • නිශ්පාදිත රට                                             : එංගලන්තය
  • සමාගම                                                     : Hunslet Engines Company
  • එන්ජින් වර්ගය                                          : Steam Tank Engine (වාෂ්ප බල)
  • ඇක්සල සැකැස්ම                                      : 4-4-0T
  • ඇක්සලය මත උපරිම බර (Axle Load)      : 7 Tons 10 Cwts)
  • වාෂ්ප සිලින්ඩර විශ්කම්භය                        : 11 ½ “
  • සිලින්ඩර ගණන                                        : 2
  • සිලින්ඩර පහර                                          : 18”
  • වෑල්ව් අනුව වර්ග කිරීම                             : Slide Valve
  • බොයිලේරු පීඩනය                                   : 150 lbs. Per sq.’ inch (වර්ග අඟලට රාත්තල් 150)
  • බොයිලේරු වර්ගය                                   : Round Top
  • හිස්ව ඇති විට එන්ජිමේ බර                       : 17 tons 6 cwts
  • බෆර් අතර දුර                                           : 24’ 11 ½ “ (එන්ජිමේ මුලු දිග)
  • උපරිම වේගය                                           : පැ.සැ 20
  • ඉන්ධන ධාරිතාව                                      : ගල් අඟුරු ටොන් 2, වතුර ගැලුම් 820
  • බර පන්තිය                                               : T
  • ගෙන්වූ එන්ජින් ගණන                              : 7 (102 – 108)
  • වර්ණය                                                    : කළු (ලංකාවේ භාවිත වූ සියලු පටු ආමාන වාෂ්ප එන්ජින් කලු පැහැතිය.)

කැළණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන - අවිස්සාවේල්ල, අවිස්සාවේල්ල - ඕපනායක  කොටස් ඉදිකිරීමට ප්‍රමුඛ කාර්යභාරයක් සිදු කරන ලද එන්ජින් වන්නේ මෙම K1 පන්තියේ එන්ජින්ය. (කැළණිවැලි මාර්ගයේ බලසම්පන්න J2 පංතියේ එන්ජින් ආනයනය කරනු ලැබූයේ 1909 වර්ෂයේ ය.  මෙම එන්ජින් කැළණිවැලි දුම්රිය මාර්ගයේ මගී, මිශ්‍ර සහ භාණ්ඩ දුම්රියන් සඳහා පොදු වශයෙන් යොදාගෙන ඇත. 1950 වර්ෂය වන තුරුම කැළණිවැලි මාර්ගයේ ශන්ටින් කටයුතු සඳහා විශේෂිත එන්ජින් නොපැවති බැවින් ඒ සඳහා බොහෝවිට යොදාගනු ලැබුවේද මෙම K1 පන්තියේ එන්ජින්ය.  මුල්කාලයේදී ප්‍රධාන පහන් ලෙස ගෑස් ලාම්පු භාවිතා කර ඇති අතර 1930 දශකයේදී විදුලි ලාම්පු සවිකර තිබේ.  

J1 සහ J2 එන්ජින් ආනයනය කිරීමෙන් පසු මෙම K1 එන්ජින්, කොළඹ - අවිස්සාවේල්ල - යටියන්තොට මාර්ගයට බොහෝ දුරට සීමා වී ඇත.  සබරගමුව මාර්ගයේ දෑල - ඕපනායක අතර මාර්ග කොටසේ අධික බෑවුම් සහිත ස්වභාවය හේතුවෙන් ගැල් හයකට වඩා ඇදගෙන යාමට නොහැකි වීම එයට හේතුවයි.


K1 පන්තියේ එන්ජිමක් වන අංක 104 දුම්රිය එන්ජිම දුම්රිය ඉතිහාසයේ මෙන්ම සිනමා ඉතිහාසයේ ද නොමැකෙන නාමයක් සනිටුහන් කළ එන්ජිමකි. 1958 වසරේදී මෙරට රූගත කරන ලද The Bridge on the river‍ Kwai නම් දෙවන ලෝක යුද්ධය පසුබිම් වූ සිනමාපටයකට මෙම එන්ජිම සහ අංක 106 දරණ එන්ජිම යොදා ගැනීමයි.

The Bridge on the river Kwai චිත්‍රපටයේ අවසන් දර්ශනය සඳහා පාලමත් සමග පුපුරවා හැරීමට මොහොතකට පෙර.
K1 104 එන්ජිම සහිත දුම්රිය The Bridge on the river Kwai චිත්‍රපටයේ අවසන් දර්ශනය සඳහා පාලමත් සමග පුපුරවා හැරීමට මොහොතකට පෙර.

අංක 104 දරණ එන්ජිම සහිත දුම්රිය චිත්‍රපටියේ උච්ඡතම අවස්ථාව සඳහා කැලණි ගඟ හරහා ඉදිකරන ලද ලී පාලමක් සමග පුපුරවා හැරීම සිදු විය. පසු කලෙක මෙම එන්ජිම යකඩ සඳහා කපා වෙන්කරන ලදී.

වසර තිහකට අධික කාලයක් භාවිතා කිරීමෙන් පසුව මෙම එන්ජින් සියල්ලම (106 හැර) 1932 1964 කාල  පරාසය තුළ දී විශ්‍රාම ගන්වා ඇත.  අංක 106 දරණ එන්ජිම The Bridge on the river‍ Kwai චිත්‍රපටය රූගත කිරීම්වලින් අනතුරුව රත්නපුර දුම්රිය ස්ථානයේ ශන්ටින් එන්ජිම ලෙස 1970 දශකයේ මුල් භාගය දක්වා භාවිතාවේ යොදවා ඇත. ඉන්පසු කෙටිකලක් දෙමටගොඩ දුම්රිය අංගනයේ මෙහෙයුම් කටයුතුවල ද යෙදවීමෙන් අනතුරුව එහිම පසෙක අත්හැර දමා තිබිණි. කිහිප වතාවක් සංරක්ෂණයට උත්සාහ කලද එ එක් උත්සාහයක් හෝ සාර්ථක නොවීය.  මෙම එන්ජිම කිතුල්ගල ප්‍රදේශයේ ස්ථාපනය කිරීම පිළිබඳවද කතිකාවතක් විය.
K1 106 දරණ එන්ජිම ලංකාවේ දැනට ඉතිරිව පවතින පැරණිම පටු ආමාන දුම්රිය එන්ජිම
කොළඹ දුම්රිය කෞතුකාගාරයේ සංරක්ෂණය කර ඇති K1 106 දරණ එන්ජිම ලංකාවේ දැනට ඉතිරිව පවතින පැරණිම පටු ආමාන දුම්රිය එන්ජිම මෙය වෙයි

අවසානයේදී  2018 වසරේදී මෙම වටිනා එන්ජිමේ අයිතිය කොළඹ යෝජිත නව දුම්රිය කෞතුකාගාරයට පවරන ලද අතර වසර පනහකට වැඩි කාලයක් ස්වභාව ධර්මයේ  විවිධාකාරයේ අතවරවලට ලක්ව  ඉතාම දිරාපත් තත්වයෙන් තිබූ මෙම එන්ජිම අනාගත පරම්පරාවට දැක ගැනීම සඳහා සංරක්ෂණය කිරීමේ  භාරදූර වගකීම දුම්රිය කෞතුකාගාරය විසින් බාර ගැනීම ලංකාවේ පමණක් නොව විදේශයන්හි දුම්රිය ලෝලීන්ගේ දැඩි සැනසිල්ලට කරුණකි.

කැළණිවැලි දුම්රිය මාර්ගයේ ඉහල කොටස ලෙස හැඳින්වෙන අවිස්සාවේල්ල ඕපනායක අතර කොටසේ ගමන් කරන පාසල් ළමුන්, රජයේ කාර්යාල සේවකයින් සහ අනෙකුත් මගීන් වෙනුවෙන් සේවා සැපයීම සඳහා 1928 වසරේදී, වාෂ්ප බලයෙන් ධාවනය වන රේල් කාර් තුනක් එංගලන්තයේ සෙන්ටිනල් කැමල් සමාගමෙන් ආනයනය කරන ලදී. V2 ධාවන පන්තියට අයත් වූ එම වාෂ්ප රේල් කාර් එතැන් පටන්, උදෑසන පාසල් සිසුන් වෙනුවෙනුත්, සවසට කාර්යාල සේවකයින් වෙනුවෙනුත්, ඒ අතරවාරයේ නගරයට යන එන ජනයා වෙනුවෙනුත් කැළණිවැලි මාර්ගයේ ඔබ මොබ ධාවනය වෙමින් පුරා දශක පහක කාලයක් තිස්සේ ලබාදුන් සේවාව කිසිසේත්ම සුළුකොට තැකිය නොහේ.

කෙසේ නමුත්, වර්ෂ 1978 වන විට, කැළණිවැලි මාර්ගයේ ඉහල කොටස වසා දැමීමට බලධාරීන් තීරණය කරණ ලද අතර, එම අවස්ථාව වනතුරුම ඕපනායක දක්වා ධාවනය වූ එකම මගී ප්‍රවාහන සේවාව ඉටු කරන ලද්දේ මෙම වාෂ්ප රේල් කාර් රථ විසිනි. 

ඉහල මාර්ග කොටස වසා දැමීමත් සමග කැළණි වැලි මාර්ගයේ පහල කොටසේ ප්‍රවාහන සේවා කටයුතු සඳහා යොමු කරන ලද මෙම රේල් කාර් රථ, එවකට කැලණි වැලියේ කොළඹට ආසන්න ප්‍රදේශ වල තිබූ අධික මගී ඝනත්වය සමග වුවද ඉතා සතුටුදායක සේවයක් ලබාදුන්නේ, සිය දශක පහක් වූ වයසද සමගිනි. 

මෙරට පටු ආමාන දුම්රිය සේවාවය කණකොකා හැඬීම ඇරඹෙනුයේ 1990 දශකයේ මුල් භාගයේදී මෙම පටු ආමාන මාර්ගය පුළුල් ආමානයට හැරවීමට බලධාරීන් තීරණය කිරීමත් සමගය. ඒ අනුව කැළණිවැලි දුම්රිය මාර්ගය ද්විත්ව ආමානයේ දුම්රිය මගක් ලෙස සකසන ලද අතර කාලයක් ගත වෙත්ම මෙම රේල් කාර් ඇතුළු සමස්ථ පටු ආමාන දුම්රිය යන්ත්‍රවල අවසානය සනිටුහන් වන්නේ, නඩත්තු කිරීමේ අපහසුතා නිසා පටු ආමාන මාර්ගය අත්හැරදැමීමට තීරණය කිරීමත් සමගිනි. වර්ෂ 1997 දී පමණ අවසාන පටු ආමාන දුම්රිය කිහිපය ධාවනය වුවත් වර්ෂ 1998 වන විට එය සම්පූර්ණයෙන්ම වාගේ නැවතී තිබුණි. වර්ෂ 1998 දිනක උදෑසන, සංචාරකයින් කණ්ඩායමක් රැගෙන V2-331 රේල් කාරය සිය අවසාන චාරිකාව සිදු කළේය. ශ්‍රී ලංකාවේ පටු ආමාන වාෂ්ප රේල් කාර් යුගය, එම ගමනේ අවසානයත් සමගම අවසාන විය.

21 වන සියවසේ මුල දශකය දක්වාම මෙම රේල් කාර් රථය ධාවන තත්වයෙන් පැවතුනේ ඒවන විට ලොව ධාවන තත්වයේ ඉතිරිව තිබූ අවසාන වාෂ්ප රේල් කාරය ලෙසිනි. 

V2 class geared steam railcar no. 331,
Sentinel V2 class geared steam railcar no. 331, works no. 7303/1928

මෙසේ අත්හැර දැමුණු එන්ජින් අතර ඉතා වටිනා එන්ජින් රාශියක් විය. හොදම උදාහරණය වන්නේ අංක 293 දරණ “බේබි ගැරට්” ලෙස හැදින්වුන Bayer Peacock වර්ගයේ පටු ආමාන එන්ජිමයි. ගැරට් එන්ජිම විශේෂයෙන් සකසා ඇත්තේ කඳුකර මාර්ගයන්ට ඔබින පරිදිය. උඩුපුස්සැල්ලාව නානුඔය මාර්ගයේ සීග්‍ර නැග්ම සඳහා විශේෂයෙන් නිපදවන ලද මෙම එන්ජිම මෙලොව එම වර්ගයේ එකම පටු ආමාන ගැරට් එන්ජිම විය. එනම් එම සමාගම එවැන්නක් නිපදවන ලද්දේ අප වෙනුවෙන් පමණක් වීමය. 

293 පටු ආමාන ගැරට් එන්ජිම
293 පටු ආමාන ගැරට් එන්ජිම

 ශ්‍රී ලංකාවේ ධාවනය කරන ලද වාශ්ප එන්ජින් වලින් බහුතරයක් එංගලන්තයෙන් ගෙන්වා ඇත. මීට අමතරව මරදානේ දුම්රිය වැඩපොලේ වාශ්ප එන්ජින් 3ක් නිපදවා ඇත. 1950 දශකය වන විට ක්‍රමයෙන් ඩීසල් එන්ජින් හඳුන්වා දීමත් සමගම වාශ්ප එන්ජින් ද ධාවනයෙන් ඉවත් කර තිබේ. මෙසේ ඉවත් කෙරුණු ඇතැම් එන්ජින් සුරක්ශිත මට්ටමේ ඇතත්, බොහෝ ඒවා දිරා ගොස් තිබේ.


දැනට ධාවන මට්ටමේ ඇති වාශ්ප එන්ජින් අතරින් වයිස්රෝය් ස්පෙශල් නම් විශේෂ දුම්රිය ධාවනය කරනු ලබන සර් තෝමස් මේට්ලන්ඩ් නමැති එන්ජිම විශේෂ තැනක් ගනී.

වයිස්රෝයි ස්පෙශල් (Viceroy Special),
වයිස්රෝය් ස්පෙශල් නම් දුම් රිය එන්ජිම

වයිස්රෝයි ස්පෙශල් (Viceroy Special), යනු ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන වසර 75ක් පැරණි විශේෂ දුම්රියකි.එය J.F. Tours & Travels (Ceylon) Ltd ආයතනය මගින් ක්‍රියාත්මක කරනු ලබයි.ශ්‍රී ලංකාවේ එකම පෞද්ගලික දුම්රිය සේවාව මෙය වන අතර වායුසමීකරණය කරන ලද නැරබුම් මැදිරි 2ක් මෙම දුම්රියෙහි අඩංගු වේ.

B9 පන්තියේ සංරක්ෂණය කර ඇති එන්ජිමක්.
B9 පන්තියේ සංරක්ෂණය කර ඇති එන්ජිමක්. මෙය කොටුව දුම්රිය ස්ථානයේ පිටුපසදී දැකිය හැක.

වාෂ්ප එන්ජින් නඩත්තු කටයුතු පිළිබඳව දැනසිටි අවසාන සේවක පිරිස 2008 වසරේදී විශ්‍රාම යාමත් සමගම මෙම වටිනා වාෂ්ප යන්ත්‍ර පිළිබඳ උනන්දු පුද්ගලයන් මෙන්ම මෙහි වටිනාකම ගැන දැනුමැත්තන්ද දුම්රිය සේවයට අහිමි විමත් සමග මෙම අපූරු අමරණිය උරුමයන්හි විනාශය ආරම්භ විය. ඒ අතරම මේවායේ අගය වටහා නොගත් පුද්ගලයන් විසින් විවිධ කොටස් ගලවාගෙන යාමත් එහි විනාශය වඩාවඩාත් ඉක්මන් විම අතිශයින්ම කණගාටුදායක තත්වයකි. 

මීලග ලිපිය කියවීමට.👇

ශ්‍රී ලංකාවේ වාශ්ප දුම් රියේ ඉතිහාසය ගැන දැනගනිමු - History of Sri Lanka railway

👇References : 

🔰WikiWand

🔰 LocoLanka

තවත් ඔබට වැදගත් ලිපියකින් නැවත හමුවෙමු.

එතෙක් ඔබට සුභ දවසක්..!

Electronic ලෝකයේ🌏 දැනුම බෙදාගන්න එන්න අපත් සමග එකතුවෙන්න.!!❤

මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා චෝදනා, සහ අඩුපාඩු comment හරහා යොමු කරන්න අමතක කරන්න එපා.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.
Post a Comment